Saturday, May 16, 2020

කහවත්ත

සීමා නීර්ණය ගැන කියද්දි කිසිම පිළිවෙළක් නැති නගරක් තමයි කහවත්ත කියන්නෙ. කහවත්ත නගරය තියෙන්නේ වේ ගංගා නිම්නයේ.

වේ ගඟෙන් එගොඩ හා මෙගොඩ නගරය පිහිටා තියෙනවා . තව විදිහකින් කිව්වොත් ගඟ ගලන්නෙ නගරය මැදින්. ගඟේ දකුණු ඉවුර නවදුන් කෝරළයේ වම් ඉවුර අටකලන් කෝරළයේ , එතකොට ගඟේ දකුණු ඉවුර පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වම් ඉවුර කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , ප්‍රාදේශීය සභාවත් එහෙමයි දකුණු ඉවුර පැල්මඩුල්ල , වම් ඉවුර කහවත්ත , කහවත්ත නගරය නැගෙනහිර නුගවෙල , බටහිර නුගවෙල හා පනාවැන්න කියන ග්‍රාම නිලධාරි වසම් තුනටම අයිති. ඔතැනින් නැගෙනහිර නුගවෙල හා බටහිර නුගවෙල අයිති කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වුණාට පනාවැන්න අයිති පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට.

මැතිවරණ කොට්ඨාස ගත්තාම කහවත්ත නගරය ම අයිති වෙන්නෙ නිවිතිගල මැතිවරණ කොට්ඨාසයට. ඒක එහෙම වෙන්නෙ නිවිතිගල හා පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාස වෙන් වෙන්නෙ වේ ගඟෙන් නෙමෙයි කෙටේතැන්නෙන් හින්දා. කෙටේතැන්නෙ ඉඳන් වේ ගඟේ පාලම වෙනකං ප්‍රදේශයේ අය මහ ඡන්දෙදි නිවිතිගල ආසනය, පුංචි ඡන්දෙදි පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව

2001.02.20 දිනැති අංක 1172/8 දරණ ගැසට් පත්‍රය මගින් එවකට පැවැති අටකලන්පන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බෙදා වෙන්කර කහවත්ත හා ගොඩකවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක පිහිටුවන ලදි.

මෙම කහවත්ත හා ගොඩකවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක බෙදා වෙන් කරන මායිම වූයේ ඇල මාර්ගයකි.

ඇත්ත වශයෙන්ම එම ඇල මාර්ගය යනු අටකලන් කෝරළයේ පන්නිල්පත්තුව හා මැදපත්තුව වෙන් කරන මායිමයි. කෝරළ හා පත්තු මායිම් සලකුණු කළ නුවර යුගය වනවිට ඇළ මාර්ගය හරහා යාමට පාලම් නොතිබූ නිසා එගොඩ හා මෙගොඩ පරිපාලනය වෙන් වෙන් ව සිදුකිරීම අවශ්‍ය විය.

නමුත් 2001 වර්ෂයේදීත් පැරණි සංකල්පය මත පිහිටුවා මායිම් තීරණය කිරීම නිසා දුක් විඳින්නේ කොටකෙතන, හපුරුදෙනිය ප්‍රදේශවල ජනතාවය. ඔවුන්ට සිදුවී ඇත්තේ කහවත්ත දෙස බල බලා ගොඩකවෙල යාමටය.

කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බෙදා වෙන් කර ගැනීමේදී ඇළ බාධාවක් නොකරගෙන සිටියා නම් හොඳ වීමට තිබුණි. හුදෙක් කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බෙදා වෙන්කර දැමීම හැර වෙන දෙයක් නොවූ බව ද දැකගත හැකිය.

කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගොඩනැගිය යුතු වූයේ කහවත්ත නගරය කේන්ද්‍ර කරගෙනය. නගරය මැදිකරගෙන වටේටම විහිදී යන පරිදිය. නමුත් දැන් සිදු වී ඇත්තේ කහවත්ත නගරය කේන්ද්‍ර කරගෙන වෘත්තයක් ඇන්දහොත් පැල්මඩුල්ල හා ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රදේශ ද ඒ වෘත්තය තුළට ඇතුල් වීමය.


No comments:

Post a Comment